home

Thursday, November 10, 2011

මගුල් කතා

ඔය ඉතින් කර දඬු උස් මහත් වෙච්චි දූ දරුවො ඉන්න අම්මල තාත්තලගේ සිහිනය තමයි තමන්ගේ දුවට හරි පුතාට හරි කලට වේලාවට ගැලපෙන තැනකින් කටයුත්තක් හොයලා බලලා කරලා දෙන එක. ඉතින් බලාගෙන යනකොට මේක ලේසි පහසු වැඩක් නම් නෙමෙයිනේ. මේක අර පවුල් ජීවිතේ ගත කරනවාටත් වඩා අමාරු කෙලියක්. දුවට බෑනා කෙනෙක් හොයනවනම් කොච්චරනම් කියල දේවල් නම් හොයලා බලන්න ඕනෙද ? ඔය අතරින් "සුරා සූදුවෙන් සියලු දුසිරිතෙන් තොර” , "ස්ථිර රැකියාවැති", "වාහනයක් හිමි", "ගෙයක් දොරක්, ඉඩමක් කඩමක් හිමි" මෙකී නොකී දහසක් දේවල් ඉස්සරහට එනවනේ. දැනට අවුරුදු 30කට 40කට කලින්නම් "කලිසන් අඳිනවද" කියලත් හොයලා බලනවා. අපිටනම් දැන් හිතෙයි කලිසං අඳින්නෙ නැතිව නැතිනම් යකෝ හෙළුවෙං ඉන්නවයෑ කියලා. ඒත් ඉස්සර ගොඩක් අය ඇන්දේ රෙද්දයි බැනියමයිනෙ. එහෙමත් එක්කෙනෙක් තමයි කලිසමක් ඇන්දේ. තව ඒකාලේ ඔය "ආණ්ඩුවේ රස්සාවක් කරනවද" (දැන්නම් ආණ්ඩුවේ රස්සාවක් කරනවා කිව්වොත් ගෑනියෙක් ගන්න ලේසි නෑ ) වගේ කාරණාත් හොයල බලනවා කියලා මම අහලා තියෙනවා.


පුතාට ලේලි කෙනෙක් හොයනවා නම් ඔන්න "සිහින් සිරුරැති, පැහැපත්, ගුණගරුක, දෙමව්පියන්ට සලකන, ආගමට දහමට ලැදි" වගේ මෙකී නොකී දේවල්ද, මෑතකදී නම් "සිරස නොබලන", "ප්‍රවීනාට අකමැති", "කැම්පස් නොගිය (මගේ අදහසක් නෙමෙයි ඔන්න මේක )", “ෆේස් බූක් එකේ බාන් බඩී, ෆාම් විලේ සෙල්ලම් නොකරන” වගේ දේවලුත් එකතු වෙනවා.


හැබැයි දැන් කාලේ නම් ගොඩක් කෙල්ලො කොල්ලො තමන්ගේ අම්මලා තාත්තලාට මොකටද ඔච්චර කරදර කරන්නෙ කියලා හිතලා ඕ ලෙවල් කරන්නත් අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ල කෙල්ලෙක් එහෙම නැතිනම් කොල්ලෙක් සෙට් කර ගන්නවා. එහෙම හරි ටිකක් පහුවෙලා හරි ඉතින් කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි සෙට් කරගන්න බැරි උනෝතින් ඉතින් ඉරිදා පත්තරේක මංගල යෝජනා තීරයේ දැන්වීමක් දානවා. එහෙම අය විතරක් නෙමෙයි ඕං ගොඩක් වෙලාවට එක පාරක් කසාද බැඳල දික්කසාද වෙලා පාඩමක් ඉගෙන ගන්නෙ නැතිව දෙයියනේ දෙවෙනි නැතිනම් තෙවෙනි පාරටත් පොඩි ට්‍රයි පාරක් දාන අයගේ දැන්වීම් වලිනුත් මේ පිටු පිරිල තියෙන්නෙ. ඇත්තම කිව්වොත් මංගල යෝජනා පිට බලලා පරස්තාවක් කරගන්න හිතන එකෙකුට, එකියෙකුට හරි කාවද තෝරගන්නෙ කියලා හිතා ගන්නවත් බැරි විදිහට මේවයේ ෆුල් කොලිෆිකේෂන් එක්ක තමයි දැන්වීම පළ කරන්නෙ. කොහොමෙන් කොහොම හරි ඔය මංගල යෝජනා කියවනකොට මරු මරු කෑලි සෙට් වෙනවා. පත්තරේක තිබුන මට ඇහැ ගැහුනු දැන්වීම් කීපයක් තමයි ඔය පල්ලෙහා දිහාවෙ දාල තියෙන්නෙ.


උස 5'4" , 43 ලාබාල පෙනුමැති රූමත් චරිතවත් සෑහෙන්න දේපළ ඉඩකඩම් හිමි මා අසාර්ථක විවාහ දෙකකින් පැමිණිලි පාර්ශවය වී නීතියෙන් දික්කසාද වී සිටිමි. දරුවන්ද මා භාරයේ සිටී. සම වයසැති වයස නොපෙනෙන මහත්මයෙකු ඇසුරු කිරීමකින් පසු විවාහය සඳහා සොයමි. කුජ 07 කැති නැකතට ගැලපෙන කේන්ද්‍ර පමණක් සලකා බලනු ලැබේ.


ඔන්න බලන්න ඉතින් ඉතාමත් චරිතවත් ගෑණු ළමයෙක් වන මේ තැනැත්තිය විවාහ කිහිපයකින්ම පැමිණිලි පාර්ශවය වෙලා නීතියෙන් වෙන්වෙලා. අනේ ඉතින් ආපහු බඳින එකාටත් දෙයියන්ගේම පිහිටයි. ඇයි ඉතින් මොන දෙයියොද දන්න ආයෙත් කොයි වෙලාවෙ පැමිණිල්ලක් සෙට් වෙලා විත්තිකාර පාර්ශවය වෙන්න වෙයිද කියල.. අනිත් එක මේ කැති නැකත නිසා, පොළු නැකතේ අය ඇප්ලයි නොකරනවා නම් තමයි හොඳ. මොකද ඔය කැත්තට පොල්ල සෙට් උනොත් ඉතින් මේ විවාහයත් වැඩිකල් තියෙන එකක් නැහැ. අනිත් එක කොච්චර චරිතවත්ද කියනවනම් මහත්තයව ඇසුරු කරලා බලලා හරියට සැටිස් නම් තමා බඳින්න යන්නෙ. හැබැයි ඉතින් හොඳේ තියෙන්නෙ කම්ප්ලීට් පැකේජ් එකක්. ආපහු ඉතින් දරු මල්ලො හදන්න කියලා මොට කරදර වෙනවැයි ?


අගනුවරට නුදුරු බොදු ගොවි ව්‍යාපාරික පවුලක අවු: 26, උස 5' 3'' රූමත් චරිතවත් ගණකාධිකාරී දායාදහිමි දියණියට දන්ත වෛද්‍ය වෘතියේ නියුතු ගුණගරුක පුතෙකු ව්‍යාපාරික පියා සොයයි. කේන්ද්‍රය අවශ්‍යයි.


මේකනම් සිරා එකක්. බිස්නස් කරන තාත්තා හොයන්නෙ අනිත් අයගේ දත් ගලවන්න පුළුවං බෑනා කෙනෙක්ව. අදහස ඉතා පැහැදිලියි.


මේ වගේ මංගල දැන්වීම් ඇනලයිස් කරන්න ගියොත් ඉතින් ආයේ කොහෙන් නවතීද දන්නෙ නැති නිසා දැනට ඔය දෙකෙන් විතරක් නවත්තන්නම්.


කසාද බඳින ගෑණු ළමයින්ට තියෙන ඊලඟ ලොකුම ප්‍රශ්නය තමා ඉතින් දෑවැද්ද. දැන් කාලේ නම් ඕක පස්සෙ එච්චර එලවන්නෙ නැති උනත් තාමත් යහමින් ඉඩ කඩම්, හරක බාන, යාන වාහන දෑවැද්දට නොඉල්ලා ඉල්ලන අය ඕන තරම් ඉන්නවා. ඒකනෙ ඔය මංගල දැන්වීම් වල උනත් ගෑනු ළමයට දෙන්න තියෙන පැකේජ් එක එහෙම ගෙඩි පිටින්ම පළ කරන්නෙ. හැබැයි ඔය අපිට අල්ලපු රටේ, ඒ කියන්නෙ ඉන්දියාවත් එක්ක බලනකොට නම් මේ දෑවැදි කේස් එක අපේ රටේ නැති ගානයි. දැනට ටික කාලෙකට කලින් මාත් එක්ක වැඩ කරපු ඉන්දියන් කාරයෙක් මගෙන් අහනවා "උඹලඟේ රටේ BE (Bachellor of Engineering) තියෙන කම්පියුටර් ඉන්ජිනියර් කෙනෙක්ට ලක්ෂ කීයක දෑවැද්දක් ගන්න පුළුවන්ද" කියලා. ඒක අහල මම ෆුල් හොල්මංවෙලා කිව්වා අපේ රටේනම් කොල්ලො ඩිග්‍රිය ගහන්නෙ හොඳ පඩියක් එක්ක රස්සාවක් කරන්න මිසක් ලක්ෂ ගනන් දෑවැද්ද එක්ක ගෑණියෙක් ගන්න නෙමෙයි කියලා.


ඒ උනාට ලංකාවෙ උනත් ගොඩක් වෙලාවට දීග යන්න බැරිව ගෙදරට නාකිවෙන සහ දරුමල්ලොත් එක්ක ආපහු ගෙදර එන ගෑණුන්ව බන්දල දෙන්න ඔය දෑවද්ද තාමත් ඇමක් විදිහට පාවිච්චි කරනවා. මම අහලා තියෙන කතාවක් තමයි කාලෙකට ඉස්සර ඔය උඩරට පැත්තෙ ගරා වැටෙන වල්ලව්වක ගෙදරට වේලි වේලි හිටිය හතලිහ පැනපු කුමාරිහාමියෙක්ව බන්දල දෙන්න දැන්වීමක් දැම්මෙ දෑවැද්දට යස අපූරු අලියෙක් දෙනවා කියලයි. කොහොමෙන් කොහොම හරි ඔය ඇම ගිල්ල පොරක් මේක කර ගැහුවා. පොරොන්දු වෙච්චි විදිහටම අලියෙක් නම් දෑවැද්දටත් ලැබුනා. ඒ උනාට බලාගෙන යනකොට අලියටත් කුමාරිහාමිගේ වයසමයි.ඇවිද ගන්නවත් පණ නැති නාකි අලියෙක්. ඉතින් මූට කියලා කොටන් අද්දවන්නයෑ ? නාකි උනාට මේ අලියා කිතුල් බඩ ටොන් ගානකුයි, කොස් කොළ කරත්තයක් විතරයි දෙසා බානකොට අන්තිමට පොර නැත්තටම නැති උනේ ගෑනිව විතරක් නෙමෙයි අලියවයත් නඩත්තු කරගන්න බැරිව. ඔන්න ඔහොමයි කුමාරිහාමිගේ වලව්වෙ කට්ටිය කුමාරිහාමිගෙන් විතරක් නෙමෙයි අලියගෙනුත් ගැලවුනේ. ඕක නිසා තමයි කට කහනවට කියන්නෙ ගෑනියෙකුයි අලියෙකුයි එකපාර කරගහන්න එපා කියලා.


මම මේ කියන්න යන කතාව මට කිව්වෙ මෙහෙ ඉන්න කින්චා කියලා මගේ යාළුවෙක්. මේකත් ඔය මංගල යෝජනාවක් සම්භන්ධ කතාවක්. සිද්ද වෙලා තියෙන්නෙ ඔය පහුගිය යුද්ද කාලේදි.


දවසක් ඉතින් ඔය මංගල යෝජනා පිටුව පෙරල පෙරල ඉන්න කල වයසත් පැනපු ගෑනු ළමයෙක් හිතට අල්ලන මංගල යෝජනාවක් දකිනවා. ඒක විස්තරේ තියෙන්නෙ මේ විදිහට,


“ උසස් තැනක රැකියාවැති, පියාගේ අඩි පාරේ යමින් ඔහු යටතේ උසස් රැකියාවක නියුතු මා ගුවනේ සිට සිරි නැරඹීම විනෝදාංශය වශයෙන් කරමි. මා සොයනුයේ, රූමත්, පැහැපත්, ගුණ යහපත්, විනීත ගැහැණු ළමයෙකි. කේන්දර අනවශ්‍යයි. තමාම ලියන්න. නොම්බර 35, ගුවන් හමුදා මාවත, කටුනායක”.


ඉතින් මේක කියවලා ගෑණු ළමයත් “ෂා, දාල තියෙන විස්තරේ හැටියට මේ එයා ෆෝස් පයිලට් කෙනෙක් තමා” කියලා පරක්කු වෙන්නෙ නැතිව මේකට රිප්ල්යි එකක් දැම්මා. ඉතින් ඔන්න ටික දවසකින් කොල්ලත් රිප්ලයි කරලා වැඩේ දැන් නැගල යනවා. කොල්ල ෆෝන් කර කර මල් කඩන තරමටම වැඩේ සීරියස් විදිහටම නැගල යනවා. ඉතින් ඔහොම ටික දවසක් ඉන්නකොට කෙල්ලත් කොල්ලට කියනවා,


"අනේ මම ඔයා ගැන අපේ තාත්තටත් කියලා තියෙන්නෙ. තාත්තා කිව්ව ඔයාට මේ ඉරිදට අපේ ගෙදර එන්න කියන්න කියලා."


ඔන්න ඉතින් ඉරිදා දවසේ කොල්ලත් හා හා පුරා කියලා කෙල්ලගේ ගෙදරට යනවා මොකද මාමණ්ඩි එන්න කියපු නිසා. දැන් කතාව මේ විදිහට කෙරීගෙන යනවා,


"අපිට හරිම සන්තෝසයි පුතා වගේ ගොඩක් ඉහල රස්සාවක් කරන වැදගත් ළමයෙක් අපේ මේ දුවට ලැබීම ගැන. පුතා එතකොට ගුවන් හමුදා කඳවුරේමද වැඩ කරන්නෙ ?" මාමණ්ඩි අහනවා.


"කඳවුරේත් වැඩ කරනවා ඒ වගේම ගොඩක් වෙලාවට එලියෙත් වැඩ කරන්න වෙනවා මාමේ , දන්නවානේ, ඉතින් අපේ රස්සාවෙ හැටිනේ. " කොල්ලත් කියනවා.


"එතකොට ඔය උඩට ගිය වෙලාවට මොකද කරන්නෙ ?" මාමණ්ඩියත් අහනවා.


"ගොඩක් වෙලාවට විස්සක් තිහක් බිමට අත ඇරලා තමයි ආපහු බහින්නෙ . . . " කොල්ලත් කියනවා.


"ආ, විස්සක් තිහක් දානවා ? " මාමණ්ඩියත් අහනවා.


"දවසකට ඉතින් සීය හමාර දාන වෙලාවළුත් තියෙනවා . . . " කොල්ලත් අරින්නෙ නෑ.


"ඈහ්, හැබෑද, ඔක්කොම ඉලක්කෙටම වැටෙනවද ? ඔය එකක් බර ගානක් වෙනවා නේද ?"


"නෑ, සමහර වෙලාවට කාණුවලටත් වැටෙන වෙලාවල් තියෙනවා . . . එකක් රුපියල් විස්සක් විතරනේ වෙන්නෙ . . . ! කාණුවලට වැටුනහම ඉතින් පොඩ්ඩක් හෝදලා කරලා ගන්නවා . . ."


"ඈහ්, හෝදලා ගන්නවා, බෝම්බ ? එකක් රුපියල් විස්සයි ?" මාමණ්ඩියා ෆුල් අඤ්ඤකොරොස් වෙලා අහනවා. . .


ඔන්න කොල්ල කියනවා "බෝම්බ ? මොන බෝම්බද ? මම කියන්නෙ මේ පොල් පොල් . . . "


"මොකක්, පොල්, එතකොට තමුසේ පයිලට් කෙනෙක් නෙම්යිද ?" මාමණ්ඩියා උතුර දකුණ මාරු කරගෙන අහනවා.


"පයිලට් ? කවුද කිවුවේ මම පයිලට් කෙනෙක් කියලා. මම මේ කරන්නෙ කුලියට පොල් කඩන එකනේ . . " කොල්ලත් කියනවා.


"එතකොට මේ පත්තරේ දැන්වීමේ කියලා තියෙන්නෙ ගුවනේ සිට සිරි නරඹනවා කියලා" ඔන්න දැන් කෙල්ලත් අඬන මූඩ් එකෙන් කතාව මැද්දට පනිනවා.


"ඔව් ඉතින් පොල් ගහකට නැග ගත්තම පොඩ්ඩක් අවට සිරි නරඹලා තමා ආපහු පල්ලෙහාට බහින්නෙ . . . නැත්තන් අපරාදෙනෙ .. " කොල්ලත් කියනවා.


"එතකොට මේ කියලා තියෙන්නෙ, තාත්තාත් ගොඩක් උසස් රැකියාවක් කරනවැයි, තාත්තාගේ යටතේ තමයි වැඩ කරන්නෙ කියලා" . . . මාමණ්ඩියත් පුටුවෙන් නැගිටින ගමන් අහනවා.


"ඉතින් බොරුයෑ . . . . තාත්තා තමයි ගොඩක් උස ගස් වලට නගින්නෙ. මම නගින්නෙ පැල ගස් වලට . . . " කොල්ලත් කියපි.


මම නම් හිතන්නෙ ඒ මගුලත් කෙරෙන්නෙ නැතිව ඇති . . . .!

No comments:

Post a Comment